Saturday, August 4, 2012

පීටර් උබෙරොත් නම් රන් පදක්කම් ලාභියා


ඒ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලයි.තමා නියෝජනය කළ තරඟ ඉසව් හතරෙන්ම රන් පදක්කම් දිනා ගනිමින් කාල් ලුවිස් විසින් ඔලිම්පික් ඉතිහාසය නැවත අළුත් කළේ එහිදීය.මොරොක්කෝවේ නවාල් මුත්වාකල් මීටර් 400 කඩුලු මතින් පැන රන් පදක්කම දිනා ගත්තේ ඔලිම්පික් ඉතිහාසයේ රන් සටහන තැබූ පළමු මුස්ලිම් කාන්තාව වෙමිනි.මයිකල් ජෝර්ඩන්, පැට්‍රික් එවින්ස් සහ ක්‍රිස් මුලින් ප්‍රමුඛ ඇමෙරිකානු "සිහින කණ්ඩායම" (Dream Team) නරඹන්නන් මවිතයට පත්කරවමින් පැසිපන්දු රන් පදක්කම දිනුවේය.නමුත් තරඟාවලිය අවසානයේ මුළු ලොවම කතා කළේ අනිකෙකු ගැනය.
ජාත්‍යන්තර "ටයිම්" සඟරාව විසින් 1984 දී ඔහුව "වසරේ මිනිසා" ලෙසද ‍තෝරා ගැනිනි.ඒ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ දැක්වූ දස්කම් හේතුවෙනි.කෙසේ වෙතත් ඔහු ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ කිසිදු ක්‍රීඩා ඉසව්වකට සහභාගී වී නොතිබිණ.

මේ ඔහුගේ කතාවයි.

1978 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමි‍ටුව විසින් 23 වැනි ඔලිම්පික් උළෙලේ සංවිධායකත්වය ඇමෙරිකා එක්සත් ජනපදයට භාර කළේය.එවකට ඇමෙරිකානු ජනාධිපතිධූරය හෙබවූ ජිමී කාටර් මේ වගකීම සමඟ තවත් අභියෝගයක් ඇමෙරිකානු ඔලිම්පික් කමි‍ටුවට භාර දුන්නේය.ඒ "ලොස් ඇන්ජලීස් තරඟාවලිය වෙනුවෙන් මහජන මුදලින් එකදු ඩොලරයක්වත් ලබා නොදෙමියි" කියාය.
මෙය ඉතා බැරෑරුම් සහගත තත්ත්වයක් විය.එබැවින් තරඟ සංවිධානය සඳහා වෙනමම කමි‍ටුවක් ‍තෝරා ගැනීමට යෝජනා කෙරිණි.සංවිධායක කමි‍ටුවේ සභාපතිවරයා ‍තෝරාගන්නා ලද්දේ එවකට ඇමෙරිකාව තුළ සිටි ප්‍රමුඛ පෙලේ විධායකයින් සියයක් අතරිනි.මේ අවස්ථාව හිමි වූයේ වෝටර් පෝලෝ ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළා වූද එවකට අති සාර්ථක ව්‍යාපාරිකයෙකු වූද පීටර් වික්ටර් උබෙරොත් හටය.මෙය මාසික පඩි සහිත ‍රැකියාවක් විය.ඒ පඩිය එවකට ඔහුගේ ව්‍යාපාරයේ ලාභ මුදලින් සියයට හතලිහකටත් අඩු ප්‍රමාණයකි.
ඔලිම්පික් තරඟ සංවිධායක කමි‍ටුවේ සභාපතීත්වය භාරගත් වහා ඔහු කළේ ඉතා පැහැදිලි ලෙස ලාභ ලබමින් තිබූ තම ව්‍යාපාරය ඩොලර් මිලියන 10.6 කට විකුණා දැමීමය.ඒ කටයුතු දෙකම එක්ව කළ නොහැකි බව ඔහු කීය.  
ලොස් ඇන්ජලීස් උළෙල ආරම්භයම අභියෝගයක් විය.තරඟ සංවිධායක කමි‍ටුව සතුව කිසිදු වත්කමක් නොවීය.ගිණුම් වල වූයේ  ඍන ශේෂයකි.එනමුදු ඊට සය වසරක් ඇවෑමෙන් ක්‍රීඩා ලෝකයේ මහා මංගල්‍යය එහි යථාර්තවත් කළ යුතු විය.
එබැවින් තරඟාවලිය සඳහා අරමුදල් සොයාගැනීමේ තරඟයට මුහුණ දීම අනිවාර්ය විය.


ඔහු පළමුවෙන්ම කළේ ඔලිම්පික් තරඟාවලිය විකාශය කිරීමේ අයිතිය මුදල් අයකිරීමේ පදනම මත පිටට විකිණීමයි.ඇමෙරිකානු ගුවන්විදුලිය විසින් ඩොලර් මිලියන 225 ක් ගෙවා එහි තනි අයිතිය ලබා ගැනීමට කටයුතු කරන ලදී. විදේශීය මාධ්‍ය ආයතන වෙතින් ඔහු අය කර ගත් මුළු මුදල ඩොලර් මිලියන 150 කි.කෙසේ වෙතත් ඒ හා බැඳුනු සියළු කතාන්දර ඔහුට මිහිරි මතකයන් නොවීය.රතු කඳවුර හා ඊට පක්ෂපාතී සියළු රටවල් ලොස් ඇන්ජලීස් උළෙල වර්ජනය කිරීමට සූදානම් වන බව කන වැකුණු වහා උළෙලේ අනුග්‍රාහකයන් ගණන 381 සිට 30 දක්වා පහළ ගිය බව පැවසේ.එවිට ඔහු කළේ රටේ නම දිනූ ව්‍යාපාරිකයන් වෙත පෞද්ගලිකව ගොස් අනුග්‍රාහක මුදල් ‍රැස් කිරීමය.
ඔලිම්පික් ගම්මානයක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් නැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමු‍ටුවට පෙන්වා දුන් ඔහු තරඟාවලියට පැමිණි ක්‍රීඩකයන්ට නවාතැන් දුන්නේ ලොස් ඇන්ජලීස් හි පිහිටි විශ්ව විද්‍යාල තුනක නේවාසිකාර වලය.ඒ හේතුවෙන් ඩොලර් මිලියන දෙසීයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ අතර රටේ විශ්ව විද්‍යාල තුනක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සිදුවිය.
අවසානයේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඩොලර් මිලියන 300 ක මුදලක් රටට ඉතිරි කළේය.වසර 88 ක නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ එය ආදායම් වාර්තාවකි.

ඉතින් අපි 2032 හම්බන්තොට ඔලිම්පික් උළෙලක් පිළිබඳව සිතන්නේ නම්, පළමුව කළ යුත්තේ පීටර් උබෙරොත් කෙනෙකු සොයා ගනීමය.

7 comments:

  1. "ඉතින් අපි 2032 හම්බන්තොට ඔලිම්පික් උළෙලක් පිළිබඳව සිතන්නේ නම්"

    හීනයක් තමා...


    "පළමුව කළ යුත්තේ පීටර් උබෙරොත් කෙනෙකු සොයා ගනීමය."

    මේකත් හීනයක් තමා..හැබැයි කලින් එක මෙයිට වඩා හැබෑ කරන්න පහසු හීනයක්...

    ReplyDelete
  2. ඉතින් අපි 2032 හම්බන්තොට ඔලිම්පික් උළෙලක් පිළිබඳව සිතන්නේ නම්, පළමුව කළ යුත්තේ පීටර් උබෙරොත් කෙනෙකු සොයා ගනීමය.

    සොයාගෙන ඌව වෙන රටකට එලවා දැමීම හෝ බැරිම නම් මරා දැමීමය...

    නැත්තම් 2032 ඔලිම්පික් තියන එකෙනුත් වැඩක් නැත...

    -ලංකාවේ දේශපාලකයෙක්...

    ( ජස්ට් කිඩින් ඈ... :) )

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උබෙරොත් ලා නැහැ.ජැක්සන් ඇන්තනී ලා ඉන්නේ.

      Delete
    2. ඉතිං ජැකා හොඳයිනේ. ඔලිම්පික් උනත් කමක්නෑ දීල බලන්න බෑ කියයිද කියලා..?

      Delete
  3. Peeter Rajapakse kenek nam set wei anthimata.

    ReplyDelete
  4. Peeter Rajapakse kenek nam set wei anthimata.

    ReplyDelete
  5. අදහන්න වටින මනුස්සයෙක්. ඒ මනුස්සය ඉන් පස්සෙ දේශපාලනේට ආවා කියල එහෙම තියෙනවද? මෙහෙනම් ඊලඟට වෙන්නෙ ඒකනෙ.

    ReplyDelete