Thursday, August 16, 2012

එපා !


එපා ය කියන්නේ  ඕනෑ නැති නිසාය.සමහරු බොරුවට එපා කියති.සමහරු ඇත්තට එපා කියති.
සමහරු එපා කීමෙන් නොනැවතී එපා වීමට හේතුවද කියති.


1952 දී ඊශ්‍රායලයේ ජනාධිපති ධූරය පිරිනැමූ විට ඇල්බට් අයින්ස්ටයින් එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ ලියා යැවීය.
"ඊශ්‍රායෙල් රජය විසින් කළ ආරාධනාව පිළිගැනීමට නොහැකි වීම ගැන මා දුකටත් ලැජ්ජාවටත් පත්වෙමි.මා මගේ මුළු ජීවිතකාලයම ගත කළේ භෞතික වස්තූන් හා ගැටෙමිනි.මිනිසුන් සමඟ ස්වභාවිකව ගණුදෙනු කිරීමේ කලාව මට පිහිටා නැත.ඒ පිලිබඳ අත්දැකීම්ද නැත.නිල උත්සව වලදී ගාම්භීරව හැසිරෙන ආකාරය මම නොදනිමි.මෙවැනි නොහැකියාවන් නිසා එවැනි උසස් තනතුරක් හෙබවීමට මා නුසුදුසු වෙමි."

අටවැනි එඩ්වර්ඩ් රජු සිහසුන අතහරිමින් 1936 දෙසැම්බර් 11 වැනිදා බකිංහැම් මාලිගයේදී රටවැසියන් අමතා මෙසේ ප්‍රකාශ කළේය.


"රටේ රජු වශයෙන් මගේ කර මත ඇති වගකීම,මගේ හිස මත ඇති වියවුල හා මා ඉදිරියේ ඇති වැඩ සම්භාරය ගැන ඔබ දැනුවත් බව මම දනිමි.මා ආලය කරන කාන්තාවගේ ඇල්මෙන් සහ බැල්මෙන් තොරව ඒවා ඒ ආකාරයෙන් ඉෂ්ඨ කිරීමට මට නොහැකිය."

විශිෂ්ඨත්වයේ සංකේතය ලෙස පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිළිගැනීම ප්‍රතික්ෂේප කල පුද්ගලයින් හය දෙනෙකි.රිචඩ් කූන් 1938 දී රසායන විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය එපා කීය.ඒ රටේ මතයට හිස නමමිනි.1939 වසරේදී නොබෙල් ත්‍යාගය එපා කියූ පුද්ගලයන් දෙදෙනෙකි.ඒ ඇඩොල්ෆ් බියුටෙනන් හා ගර්හාඩ් ඩොමැක්ය.නමුත් ඔවුන් සියළු දෙනාම නොබෙල් අනුකමි‍ටුව වෙතින් පිරිනැමෙන සහතික පත්‍රය සහ පදක්කම පිළිගත්හ.
නමුත් නොබෙල් ත්‍යාගය සහමුලින්ම එපා කීවේ තිදෙනෙක් පමණි.රුසියාවේ බොරිස් පැස්ටනැක්,ප්‍රංශයේ ජීන් පෝල් සාත්‍රේ සහ වියට්නාමයේ ලී ඩක් ‍තෝ ය.
1964 දී සාහිත්‍යය වෙනුවෙන් පිරිනමන ලද නොබෙල් ත්‍යාගය සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් ප්‍රංශයේ ජීන් පෝල් සාත්‍රේ මෙසේ කීය.
"සාහිත්‍යකරුවා යනු ආයතනයක් නොවේ".

ඔස්කාර් සම්මානයට පාත්‍රවීම සියලු කලාකරුවන්ගේ ප්‍රමුඛ සිහිනයවී තිබියදී 1973 වසරේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය මාලන් බ්‍රැන්ඩෝ විසින් ප්‍රතික්ෂේප කළේය.ඔහු එසේ කළේ  අමෙරිකානු ආදිවාසී ජනතාවට රජය විසින් අසාධාරණ ලෙස සැලකීමට එරෙහි වෙමිනි.



සම්මානය ප්‍රධානය සඳහා ඔහු වෙනුවට සහභාගී වූයේ ඇමෙරිකානු ආදිවාසී පරපුරෙන් පැවත ආ චිත්‍රපට නිළි සචීන් ලිට්ල්ෆෙදර්ය.බ්‍රැන්ඩෝ ගේ නම නිවේදනයවද්දී වේදිකාවට නැඟුනු ඈ සම්මානය එපා යැයි අතින් සන් කරමින් කෙලින්ම මයික්‍රොෆෝනය වෙත ගියාය.
ඉන් අනතුරුව සම්මානය ප්‍රතික්ක්ෂේප කිරීමේ හේතුපාඨය ඔහු වෙනුවෙන් කියවූවාය.මේ සියල්ල අවසානයේ හිස් අතින් වේදිකාවෙන් බැස ගියාය.

කෙසේ වෙතත් ඒ මහා සභාව ඉදිරියේ කියවීම සඳහා මාලන් බ්‍රැන්ඩෝ විසින් සචීන් ලිට්ල්ෆෙදර් හට ලියා දුන් කතාව සම්පූර්ණයෙන් කියවා දැමීමට ඈ අපොහොසත් විය.ඒ කාලවේලාව ඉක්මගිය හෙයිනි.

එදා මාලන් බ්‍රැන්ඩෝ නොකළ කතාවේ මෙසේ දැක්විණි.
"තමන්ගේ ජන්ම භූමිය,දරු දැරියන් සහ ජීවිතය වෙනුවෙන් සටන් කරන රතු ඉන්දියානු ජනතාවට වසර 200 ක් පුරා අපි මෙසේ කියමින් සිටිමු.
මිතුරනි,ඔබේ අවි බිම තබන්න..ඉන් අනතුරුව අපි එක පවුලකි.මට ඔබ හා දෙඩිය හැක්කේ ඔබේ අවි ඔබේ අතින් බිම තබන්නේ නම් පමණි.
එය අසා ඔවුහු සිය අවි බිම හෙළුවෝය.ඉන් අනතුරුව අපි ඔවුන් ඝාතනය කළෙමු."

"මේ කතාවත් ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කිරීමත් අතර සම්බන්ධය කුමක්දැයි ඔබ වද වන බව මම දනිමි.එය මෙසේ පැහැදිලි කළ හැකිය.අපි අපේ චිත්‍රපට තුළින් පෙන්වන  රතු ඉන්දියානුවා වනචාරියෙකි,ද්‍රෝහියෙකි,යක්ෂයෙකි.මේ චිත්‍රපට නරඹන රතු ඉන්දියානු දරුවන්ගේ හදවත තුවාල වී ලේ ගලනු මම දකින්නෙමි.ඒ දැක දැක ඔබේ සම්මානය දෝතින් බදා ලොවට පෙන්වීමට මම ලැජ්ජා වෙමි."

මේ ලොව බැරෑරුම්ම එපා කීම්ය.ඒ එපා කීම් ලොව පුරා බොහෝ හදවත් සසල කළේය.

25 comments:

  1. නදියෝ...ඔච්චර බටහිර ගැතිවාදියෙක් වෙන්න එපා. ඇයි උඹට අමතක වුනේ සම්මාන අචාර්‍යය උපාධිය අලුයම ඉවත ලූ කෙළ පිඩක් සේ ප්‍රතික්ෂේප කල රාවණවාංශික හෙළවාසී 'ච.බ.කු' මැතිණිය.

    කොහොම වුනත් නියම පෝස්ට් එක. නොදන්නා යමක් දැනුමට එක කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. බටහිරට ගැතිවීමක් නෙවී, විසම්මුතිය හා විරෝධාකල්පය පිලිබඳ අදහසක් පමණයි.

      Delete
    2. මම දන්නැතිව නෙමේ. පොඩි විහිළුවක්

      Delete
  2. වටින පෝස්ටුවක්.. ස්තූතියි ගොඩක්..

    ReplyDelete
    Replies
    1. කියෙව්වාට ස්තූතියි.

      Delete
  3. ඔයට ජනදිපති උපදෙශක කමක් දුන්නොත් මොකඩ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ජනදිපති උපදෙශක කමක් කියන්නේ හුදෙක් වාහනයක් හා ගෙයක් පමණක් බව අපේ හිරු නගාගෙන් දන ගත්තෙමු. වාහනයක් හා ගෙයක් නිකම් දුන්නම එපා කියන බූරුවෙක් ගැන බ්ලොග් එකක සඳහන් කිරීම නොවටී.

      Delete
    2. මට "එපා" !
      (ජනාධිපති කම ඕනා එකාට උපදේශක කම මොටද?)

      Delete
  4. ඩී ඇස් ලොකු පප්පා බිරිතාන්න රාජිනියගේ නයිට්ටුව එපා කී නිසා එතුමාට "මහාමාන්‍ය" කියන බව අසා ඇත්තෙමි. එපා කියූ හැටි නොදනිමි. නදියාට ලියා දමන්නට තරම් හැඩකාර ලෙස එපා කියන්නට උගත් කමක් ඒ ලොකු පප්පාට නොමැති බව ද අසා ඇත. [ලංකාවේ කිසිම අර්බුධයක් නොවී එතුමා යෙහෙන් රට පාලනය කලේ අන්න ඒ නූගත්කම නිසා විය හැක]

    1818 කැරැල්ලේ දී බදුල්ල මහා දිසාවේ ලෙස හිඳ පසුව කැරැල්ලට එකතු වූ කැප්පෙටිපොල නිලමේ තුමාණෝ සුද්දන්ගේ තුවක්කු එපා කියමින් තමන් සතුව තිබු පට්ට මිලිටරි කෑෂ් එකක් රිලීස් කරමින් කැරලිකරුවන්ට එදා මෙදා නොවූ අමුතුම වාර්තාවක් එකතු කලෝය. එය කළ හැටි ගැන ලිපියක් නම් කොහෙන්දෝ කියවූ බව මතකයි. මගේ පෘතග්ජන මොලේට අනුව නම් ලෝක ඉතිහාසයේ ඔල මොට්ටලම හා මුග්ධම එපා කීමකි මෙය. ඒ කාලේ හැටියට කැරැල්ලේ සම්පූර්ණ තීන්දුව මේ තුවක්කු ටික මත රැඳුනා වීමට ඉඩ ඇති බැවිනි.

    ReplyDelete
    Replies
    1. මේ "එපා" කීම නයිට් නාම "එපා" කීමට වඩා අන්කොමන් යමක් වූ නිසාය මම ඒ ගැන කතා කළේ! දෙවැනි එලිසබෙත් මහ‍රැජිනගේ කාලය තුළ පමණක් 318 ක් නයිට් නාමය එපා කියා ඇත.(දවල් ද කියා නො අසන්න).අධ්‍යාපන සුදුසුකම් අනුව පෝස්ට් දමන්නේය කියා කොකා මගේ "කෞෂල්‍යයට" හානි කර ඇති බව දු‍ටු විට දුක හිතේ.
      කොකෝ, අපි ඊලඟ පෝස්ට් එක ලියන්න ඕනා "ලොව ලොකුම ඕනෑ කීම්" ගැනය. උදා:එජාප නායකත්වය..
      කැප්පිටිපොල එපා කීවේද? ඔහුට එපා වූයේද? එතකොට විනයාගමූර්ති මුරලිදරන් හා පිල්ලෙයාන් ගැන ඔබ කියන්නේ මොනවාද?

      Delete
    2. කොකාට ඩී ඇස් ගේ නූගත්කම පෙනේ.සිරිමාවෝ ගේ නූගත්කම නොපෙනේ!

      Delete
    3. ඪී එස් සුද්දන්ගෙන් රට කෑලි නොකර ගත්ත එකම ලොකු දෙයක්.

      Delete
    4. @ Sujeewa Kokawala

      කැප්පෙටිපොළත් එපා කියලා නතර වෙන්නේ නැතුව හේතුවත් කිව්වනේ. තොපේ ආයුධවලින් තොපට පහර දෙන්න තරම් සිහලුන් නිවට නොවේ කියලාලු එයා කිව්වේ....

      Delete
  5. උපුල් ශාන්ත සන්නස්ගල සබරගමු මහා ඇමති අපේක්ෂකත්වයට තවමත් එපා නියා නැත.

    ReplyDelete
    Replies
    1. අර ස්වර්ණවාහිනී මෙගා ස්ටාර් ගි පස්වැනි වටයේදී ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ඊලඟ වටයට තේරීම එපා කියා තරඟයෙන් සමු ගත්තේය.කොකෝ, මං මේකත් ලියන්නද?

      Delete
  6. වටිනා එපා කිම් ටිකක් . ඔයවැනි අපුරු චරිතයක් අපේ ගෙදරත් සිටි. ගියසතියේ සපත්තු කඩේදී සපත්තු එපා කියා පොලවේ හැපුනි. ඒ අපේ සය වසරැති පොඩ්ඩිය .

    ReplyDelete
  7. නිකම්ම එපා නොකියා හේතු දක්වලා තියෙන නිසා මේ එපාකීම්වල වටිනාකමක් තියෙනවා වගේ....

    VIII එඩ්වඩ් වගේම රජකම එපා කියපු දෙන්නෙක් ලංකාවේත් ඉන්නවා. පලවෙනි කෙනා නම් අපි හැමෝම දන්න සාලිය කුමාරයා. එයාටත් එඩ්වඩ්ට වුණු හුටපටේ වගේම එකක්නේ වුණේ....

    දෙවෙන්නා තමා සකලකලා වල්ලභ. 8 වෙනි වීර පරාක්‍රමබාහුගේ පුතා.... රජකම එපා කියපු එයා රජකම තමන්ගේ බාල සහෝදර විජයබාහුට දෙන්න කියනවා. ඒ විජයබාහු කාලේ තමා ප්‍රකට විජයබා කොල්ලය වුණා කියන්නේ....

    ReplyDelete
  8. ඔව් හසිත.ඒක හරි.ඒ වගේම මම දන්නා තරමට රජකම එපා කීව පළමුවැන්නා සුද්ධෝධන රජතුමාගේ පුත් සිද්ධාර්ථ කුමාරයා.එපා කීවේ සක්විති රජකමයි.රජකම විතරක් නෙමී..තවත් බොහෝදේ එපා කිව්වා

    ReplyDelete
    Replies
    1. @ Nadeesha Chandrasena

      එහෙම බැලුවොත් නම් ඊටත් කලින් කෙනෙක් ඉන්නවානේ. බෝධිසත්ව කාලයේදී තේමිය කුමාරයාත් රජකම එපා කිව්වා නොවැ :D

      Delete
    2. ඒකත් ඇත්තයි.එයාද පයනියර් එතකොට?

      Delete
    3. @ Nadeesha Chandrasena

      ඒක නම් හරියටම කියන්න බැහැ. මඛාදේව රජ්ජුරුවොත් සුදු කෙස් ගහක් දැකලා රජකම අත්හැරියාලුනේ.... ඒක නිසා අගක් හොයාගන්න පුලුවන් වුණත් මුලක් හොයාගන්න එක නම් කරන්න බැරි වැඩක් :)

      Delete
  9. ඔබටත් අප හා එක්විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  10. වැදගත් පෝස්ටුවක්
    Visit gossipbuwa.com for latest gossips

    ReplyDelete