Monday, June 25, 2012

භාෂාව ගැන සැලකිලිමත් වන්න



(නොබෙල් සාම ත්‍යාග ලාභී කොස්ටාරිකා ජනාධිපති ඔස්කාර්  අරියෙස් 2006 සැප්තැම්බර් මස 17 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් හිදී ශිෂ්‍ය වැඩමුළුවක් අමතා කළ කතාව)



ඔබට මගෙන් අසා දැන ගැනීමට බොහෝ දේ ඇති බව මම දනිමි.ඔබට ඇහුන්කන් දීමට මමද ඉතා කැමැත්තෙමි.ඒනිසා මගේ අදහස් කෙටියෙන් ප්‍රකාශ කරන අතර අවසානයේදී ඔබේ ගැටළු වලට පිළිතුරු දීමට මට මට හැකිය.
කොස්ටාරිකාව හා එහි ජනාධිපතිගේ කටයුතු පිළිබඳ මා බොහෝ වාරයක් කතා කර ඇත.බොහෝ දෙනෙක් ඒ පිළිබඳ බොහෝ දේ මගෙන් අසා ඇත.එමෙන්ම එක් බැරෑරුම් ප්‍රශ්නයකට මගෙන් උත්තර ඉල්ලා ඇත.එය මෙවැන්නකි. "පවත්නා තත්වයෙහි වෙනසක් කිරීමට ඔබට දායක විය හැක්කේ කෙසේද?"
මේ මගේ පිළිතුරයි.එය කොටස් දෙකකින් යුක්තය.
මේ කටයුතු පිළිබඳ විස්තර කිරීමට පෙර කොස්ටාරිකාව ගැන ඔබට යමක් කීමට මට අවශ්‍යය.මගේ රටට අමරණීය ඉතිහාසයක් ඇත.එම ඉතිහාසය ඇරඹෙන්නේ ලොව පොහොසත්ම ස්වාභාවික පරිසර පද්ධතියක් සමගය.මේ රට ඉතා කුඩා එකකි.ලෝකය සතු භූමි ප්‍රමාණයෙන් 0.1% ට පමණක් උරුම කම් කියන්නකි.විෂකුරු ගෙම්බන්,මකුළුවන්හමින් කුරුල්ලන් ජගුවරයින් අපේ වනාන්තර තුළ ඔබ මොබ සරයි.කොස්ටාරිකාවේ වනාන්තර වලට පෙම් බැඳි සත්ත්වවේදීන් දිනපතා අලුත් ජීවී විශේෂ සොයාගනු ලබන්නේය.මේ ඝර්මකලාපික පරිසරය කෘෂිකර්මයට බොහෝ හිතකරය.ඔබ මෙතෙක් රසබලා ඇති ඉමිහිරිම කෙසෙල්අන්නාසි සහ කෝපි වගාකෙරෙන්නේ අපේ ගෙවතුවලය.කොස්ටාරිකාවේ අන්නාසි වලට වඩා මිහිරි අන්නාසි ගෙඩියක් ඔබ රස බලා ඇත්නම් එයද කොස්ටාරිකාවේ අන්නාසි ගෙඩියක්ම වන්නේය.නමුත් අපේ ගෙවත්තේ වගා කළ ඉමිහිරිම පළතුර සාමයයි. අපි 1949 දී ස්වේච්ඡාවෙන්ම රටේ හමුදාව අහෝසි කර දැම්මෙමු.එතැන්සිට අපි අවි ආයුධවලට මුදල් වියදම් නොකළෙමු.රටේ තරුණ ජීවිත යුද්ධයට බිලි නොදුන්නෙමු.ඒකාධිපතීත්වය නම් වූ හෙලට අපේ නිර්මාණාත්මක ජවය මුදා නොහැරියෙමු.







අපට ජීවත්වීමට සුන්දර රටක් ඇත.එය දැක බලා ගැනීමට ලොව නන් දෙසින් ජනතාව පැමිණෙති.වසරකට මිලියන එකහමාරක්ඇතැම් විට ඊටත් වඩා.
අපිරටේ ජනතාවගේ සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරන්නෙමු.1869 සිට නිදහස් අධ්‍යාපනය හඳුන්වාදී ඇති අතර වයස 18 ට අඩු සියල්ලන්ට පාසල් අධ්‍යාපනය අනිවාර්යය කර ඇත.දැන් ලොව උගත්ම  ශ්‍රම බලකායක් අප සතු වේ.ජනතාවගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතී.මේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිළේය.

කොස්ටාරිකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය කුමක්දැයි ඔබ  දනිතැයි මම නොදනිමි.අන්නාසි වලට තෙවැනි තැන හිමිව ඇති අතර කෙසෙල් දෙවැනි තැනට පත්ව ඇත.පළමු තැන මයික්‍රො චිපයන්ට හිමිය.1998 සිට ඉන්ටෙල් සමාගම මයික්‍රො චිප නිෂ්පාදනයකරන්නේත් බෙදා හරින්නේත් කොස්ටාරිකාවේ සිටය.නව  iMAC  සහ apple පරිගනක සඳහා චිප සපයන්නේත් ඔවුන් විසින්ම බව දැනගත් දා මම පුදුමයට පත්වීමි.දැන් මා විසින් කොස්ටාරිකාව හඳුන්වනු ලබන්නේ "ඇපල් ජනරජය" නමිනි.

අද වන විට මධ්‍යම ඇමෙරිකාවේ සියළු රටවල් සාමය අත්විඳිමින් සිටිති.අපේ ආර්ථිකයන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.අපේ ගිනිකඳු,කලපු,වනාන්තර හා වෙරළ තීර නැරඹීමට එන ජන ගඟ දිනෙන් දින ඉහල යයි.නමුත් අපේ ඉතිහාසය තුළද අඳුරු යුගයක් විය.මින් විසිවසරකට පෙර මම කොස්ටාරිකාවේ ජනාධිපති පදවිය භාරගතිමිඒ නිකරගුවාව,එල් සැල්වදෝරය හා ගෝතමාලාව සිවිල් යුද්ධයෙන් බැට කමින් තිබූ යුගයයි.ඒ මායිමේ උන් හොන්ඩියුරාස් සහ කොස්ටාරිකාව ද යුද්ධයට ඇද වැටීමේ අවධානමක් තිබූ යුගයයි.දිනෙන් දින මිනිස් සංහාර ඉහළ ගිය අතර ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් අහිංසකයන් මරා දමනු ලැබිණි.මේ සියල්ල මධ්‍යයේ සෝවියට් රුසියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ට හිතැති කඳවුරු වලට ආයුධ සපයන්නට විය.

සතුරන් කිහිප දෙනෙකු වැඩිපුර විනාශ කළ විට හෝ ඔවුන්ගේ කඳවුරු වැඩිමනත් ප්‍රමාණයක් මුලිනුපුටා දැමූ විට හෝ වැඩි වැඩියෙන් ආයුධ අතට දී තම බල ඇණි ශක්තිමත් කළ විට හෝ තමන් සාමය ට ඉතා ලංව සිටිනා බව බොහෝ දෙනෙක් සිතති.මම මුළු හදවතින්ම ඒ හා එකඟ නොවන්නෙමි.අවි ගැ‍ටුම් වලට එරෙහිව ප්‍රසිද්ධියේ විරෝධය පෑමට අපි හුරු වුනෙමු.වරක් මහත්මා ගාන්ධි මෙසේ පැවසීය.."සාමය සඳහා යන මාවතක් නැත.සාමයම මාවත වේ"

මැතිවරණ පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස නිකරගුවානු නායක ඩැනියෙල් ඕටිගා ගෙන් අපි ඉල්ලා සිටියෙමු.බිය කිරීමකින් හෝ බල කිරීමකින් තොරව "වෙනසක්" ඇති කිරීමට හැකිබව කිසිවෙක් විශ්වාස නොකරනු ඇත.කිසිම කොමියුනිස්ට් නායකයෙක් ස්වකැමැත්තෙන් බලය අත්නොහැරිය බව වරක් රොනල්ඩ් රේගන් මට පැවසීය.මම ඔහුට මෙසේ කීවෙමි." ජනාධිපතිතුමනිඅපි අපේ ඉතිහාසය හොඳින් දනිමු.නමුත් ඉතිහාසයේ වූ සිදුවීම් නැවත නැවතත් පුනරාවර්ථනය කරන්නට කිසිවකු කිසිවෙකුට බල කරන්නේ නැත."1987 අගෝස්තුවේදී සාමය ගැන කතිකා කර ගන්නට ගෝතමාලාවට පැමිණෙන්නැයි මධ්‍යම ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයන්ට මම ආරාධනා කළෙමි.මධ්‍යම ඇමෙරිකාවේ සාමය වෙනුවෙන් පිටස්තර බලපෑමකට නතු නොවිය යුතු බවද මම වැඩිදුරටත් කියා යැව්වෙමි.මගේ ආරාධනය පිළිගත් ඔවුහු ගෝතමාලාවට පැමිණියහ.සාම සැලැසුමට අත්සන් තබන තෙක් ඒ අවස්ථාවට සපැමිණි සියලු රාජ්‍ය නායකයින් හෝටල් කාමරයක් තුළ දමා අගුළු ලෑමට මට සිදුවිය.

යුද්ධය සඳහා යන පසුපස දොර‍ටුව මම පළමුකොට වසා දැම්මෙමි.ඉන් අනතුරුවය සාමය සඳහා යන මාවත අසීරුවෙන් විවර කරන ලද්දේ.එය ඉතා ප‍ටු ම‍ඟෙකි.
අසීරුම කාරණාව වූයේ  සාකච්ඡා මේසයට පැමිණි සියල්ලන්ගේ බලාපොරොත්තු හා අපේක්ෂාවන් සීරුවෙන් ආරක්ෂා කිරීමය.සියල්ලන් සතු‍ටු කිරීමට නම් සාකච්ඡා මේසය මතදී යමක් අත්හැර දැමීමට හැකි විය යුතු  විය.අපේ සාම සැලැස්ම සාර්ථක වීමට නම් සියලු රටවල් නිදහස් මැතිවරණයකට සූදානම් විය යුතු විය.සියලු රටවල් ස්වේච්ඡාවෙන් තම හමුදා අහෝසිකර දැමීමට එකඟ විය යුතු විය.
අප අපටම අවංක විය යුතු අතර අපේ සිහින අත්හැර දැමීම නොකළ යුතුය.කෙසේ නමුත් සිහින යථාර්තවත් කර ගැනීමේදී ඇතැම් දේ අපට අතහැර දැමීමට සිදුවන අතර අපි නිවැරදි විට පවා වැ‍රැද්ද ඉවසා සිටින්නට සිදුවනු ඇත.ඒ පිළිබඳ පැරණි කියමනක් මට සිහිවේ. මෙය "බොස්ටන් ලියැවිල්ලේ" සටහන් වූවකි.

"මෙහි වැතිර සිටින්නේ විලියම් ජේ ය.
නිවැරදි මඟ සරමින් සිටියදී ඔහු මිය ගියේය.
ඔහු නිවැරදි විය,
නිවැ‍රැද්ද වෙනුවෙන් මියගියේය.
එනමුදු ඔහු මිය ගිය කෙණෙහි
ඒ මඟ වැරදි බව වැටහිණ.."

සාකච්ඡාව යනු ජයග්‍රහනය ලැබීමේ මඟක් නොවේ.සියල්ලන් සඳහා ගැලපෙන හොඳම විසඳුම සෙවීමේ ක්‍රමය එයයි.

මිකයිල් ගොර්බචොව් නිතර නිතර මෙසේ කීමට පුරුදුව සිටියේය.
"දිනක් රුසියානු ගොවියෙකුට පාරේ වැටී තිබුණු පහනක් හමු විය.ඔහු එය පිරිමැද්දේය.මොහොතකින් භුතයෙක් මතුවිය.කැමති දෙයක් ඉල්ලන්නැයි භූතයා ගොවියාට කීය.
"මට සිටින්නේ හරක් තුන් දෙනෙකි.නමුත් මගේ අසල්වැසියා ඉගෝර් ට හරක් දස දෙනෙක් සිටී" ගොවියා කීය.
"ඉතිං ඔබට උවමනා කරන්නේ හරක් විස්සක්ද?" භූතයා විමසීය.
"නැහැඉගෝර්ගේ හරක් හතක් මරා දමන්න.මට ඒ ඇති." ගොවියා පිළිතුරු දුන්නේය.
මෙය ඉතා සරල කතාන්දරයක් වුවද මේ චින්තනය නිසා ඔබ මත ඇතිවිය හැකි බලපෑම අතිමහත්ය.ඇසට ඇසක් ඉල්ලීමෙන් මුලු ලෝකයම යම් දිනයක අන්ධවනු ඇතැයි මහත්මා ගාන්ධි කීය.
සාමයේ භාෂාව සහ යුද්ධයේ භාෂාවමෙය මගේ කතාවේ පළමු කොටසයි.සාමය සඳහා කෙතරම් කැපකිරීම් කළ යුතුද යන්නත් කෙතරම් නම්‍යශීලී විය යුතුද යන්නත් මම එහිදී  පැහැදිලි කළෙමි.

කතාවේ දෙවැනි කොටස ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමකි."වෙනසක් ඇති කිරීම සඳහා ඔබට දායක විය හැක්කේ කෙසේද?"

වෙනසක් ඇතිකිරීම සඳහා අපි දැනටමත් බොහෝ දේ කතා කර ඇත.එය සතුටට කරුණකි.ඊයේ අපි යම් සමාජසේවා කටයුත්තක නියැළුනෙමු.නීති විරෝධී අවි ජාවාරමක් පිළිබඳව කෙනෙක් කොෆී අනන් අමතා ලිපියක්ද ලීවේය.අද මමද ඔබෙන් එයාකාර උදව්වක් ඉල්ලා සිටිමි.එය ගෝලීය වශයෙන් සුවිශාල වෙනසකට මඟ පාදන්නේය.එය භාෂාව පිලිබඳ ව්‍යාපෘතියකි.
ඔබ කළ යුත්තේ මෙපමණකි."ඔබේ වචන ගැන සැලකිලිමත්වන්න".ඇතැම්විට ඔබේ මව ඔබට මෙසේ පවසා තිබෙන්නට පුළුවන.ඔබ ඔබේ මව ඉදිරිපිට නරක වචන භාවිත නොකරනු ඇතැයි මම සිතමි.
අපට උවමනා වන්නේ සාමය නම් අපි සාමයේ භාෂාව කතා කළ යුතුය.මෙය සිතන තරම් පහසු නැත.
අප කතාකරන සෑම  වචනයක්ම කෙතරම් වැදගත් දැයි ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකිය.අපි බොහෝ  තේරුමකින් තොරව වචන කතා කරමු.මේ ඊට උදාහරණයකි.වෙළෙඳ දැන්වීම් කලාව ඉතා නිර්මාණාත්මකව වචන භාවිත කරන අතර ඇතැම්විට මෙවැනි යෙදුම්ද දැකිය හැක.




ඇමෙරිකාවේදී "පෙප්සි" තේමා පාඨය වූ "පෙප්සි පරපුර සමඟ අවදිවන්න" යන්න චීනයේදී පදානුගත පරිවර්තනයකට ලක්විය.අවසානයේදී එහි තේරුම වූයේ මෙවැන්නකි."පෙප්සි ඔබේ මී මුත්තන් පවා මිනී වළෙන් නැඟි‍ටුවනු ඇත". "කොකාකෝලා" යන නාමය චීනයේදී " Ke-ku-ke-la" ලෙස ලියා දැක්වුනි.එහි තේරුම වූයේ "ඉටි වලින් වැසූ වෙළඹ" යන්නයි.මේ බව දැනගත් වහා කොකාකෝලා පවුල කලබල විය.ඔවුහු ඉන් අනතුරුව මැන්ඩරීන් භාෂාවේ වචන හතලිස් දහසක් පීරා තැනට සුදුසු වචනය පෙරා ගත්තේය. එය " Ko-ku-kola" විය.පද පෙරළූ විට එහි අරුත "මුව මත සතුට" ලෙස දැක්වින.
ලොව සුලභ ලෙසම වැරදි අර්ථකතනයන් සහිතව භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය වන්නේ ලතින් ඇමෙරිකාව තුළ යයි මම සිතමි.වරක් පාකර් පෑන් සමාගමට මෙසේ කීමට උවමනා විය."අපේ පෑන ඔබේ පොකැට්‍ටුව තුළ "ලීක්" නොවේ.එනිසා ඔබ අපහසුතාවයට පත්වන්නේද නැත".මේ වාක්‍යය ස්පාඤ්ඤ  භාෂාවට පෙරලීමට උවමනා විය.අපහසුතාව නැතහොත් embarrass  යන්න වෙනුවට ස්පාඤ්ඤ  භාෂාවේ embarazar යන වචනය ඔවුහු ‍තෝරාගත්හ.අවසානයේදී එහි තේරුම මෙයාකාර විය."අපේ පෑන ඔබේ පොකැට්‍ටුව තුළ ලීක් නොවේ.එනිසා ඔබ ගර්භනී භාවයට පත්වීම සිදුවේ".මේවා ඉතා සුළු පරිමාණයේ උදාහරණයන්ය.විශේෂයෙන් කියනවානම්සාමය සඳහා යාමට ඔබේ "වචනය" නිවැරදි කර ගත යුතුව ඇත.
මිතුරනිසාමය බොහෝවිට "සටන් කරන්නේ" වචනය සමඟ බව මම අද ඔබට කියමි.මම මීට පෙර සඳහන් කළ වාක්‍යයම ගන්න.අපි අපේ ලියැවිලි තුළකියැවීම් තුළ "සටන් කිරීම","වෙන්කිරීම", "රහස් අවියක් භාවිත කිරීම" වැනි වචන යොදා ඇත්දසත්‍ය වශයෙන්ම අපට පැවසීමට අවශ්‍යවන්නේ මෙයද?
තම දරුවා දන්ත  වෛද්‍යවරයා කරා ‍රැගෙනයන මවක් "මගේ පුංචි සොල්දාදුවා" ලෙස ඔහු අමතනු මම දැක ඇත්තෙමි.
වරක් පරිගනක සඟරාවක වූ දැන්වීමක මෙවැන්නක් සටහන් විය."ගූග්ල් සමාගම සතුව ආචාර්ය උපාධිධාරී හමුදාවක් ඇත".ඔබට මෙය කියැවීමෙන් අනතුරුව මැවුනු චිත්ත රූපය කුමක්ද?මට නම් පරිගනක ඉංජිනේරුවන් පෙනුනේ නැත.අත අවිදරා සිටින සිරුරු මම එහිදී දු‍ටුවෙමි.
යුද්ධයක් නැති තැන් වල පවා යුද්ධයක් පෙන්වීමට අපි හැමවිටම කටයුතු කර ඇත්තෙමු."සංස්කෘතික යුද්ධය","මිළ යුද්ධය",පෙප්සි සහ කොකාකෝලා අතර "සෝඩා යුද්ධය"පළමුවෙනියා වීම සඳහා "පංතිකාමරය තුළ යුද්ධය"...
දේශපාලනයේදී වැරදි වචන භාවිත කිරීම ඉතා සුලභය.දේශපාලඥයින් නිතර සටන් කරන බව කියයි.බදු අඩු කිරීම සඳහා සටන් කිරීම,සමාජ ආරක්ෂාව උදෙසා සටන් කිරීම,නව මහා මාර්ග පද්ධතිය වෙනුවෙන් සටන් කිරීම වැනි සටන් දේශපාලනයේදී බහුලව  කන වැකේ.සටන සහ අවංකව වාද කිරීම අතර සුවිශාල වෙනසක් ඇත.පාර්ලිමේන්තුව සටන් කිරීම වෙනුවෙන් අටවා ගත් ආයතනයක් නොවේ.

භාෂාත්මක යුද්ධය හානිකර නැත. නමුත් එය ගැටළුකාරීය.මෙවැනි වචන නිතර නිතර භාවිත කිරීමෙන් "යුද්ධය" එදිනෙදා ජීවිතය හා බැඳුනු අංගයක් ලෙස පෙනෙනු ඇත.එය ජීවිතයට නැතිවම බැරි දෙයක් ලෙස ඔබට දැනෙනු ඇත.ඇතැම් විට ඉන් යුද්ධයේ බියකරුබව සරල කොට දක්වා ඇත.
9/11 ප්‍රහාරයෙන් අනතුරුව ලොවම එකහෙලා ප්‍රකාශ කලේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ගැනය.ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම කෙරෙහි කිසිවෙක් කතා නොකළහ.යුද්ධය යනු හමුදාමය අත්‍යවශ්‍යතාවකි.එය දේශපාලන විසඳුමක් නොවේ.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ඉතිහාසය වෙනස් කළේය.කිසිදා යළි තම නිවසට නො එන සොල්දාදුවන්ගේ මවුවරුන් නෙත ‍රැඳි කඳුළුමිනිස් පළිහ බවට පත්වීම නිසා බැටකෑ මායිම් වැසියන් ගැන එහි ලියැවෙනු ඇත. වෛරයේ ගිනිකන්ද ඇතුළතින් පුපුරු ලනු ඇත.
මිතුරනි,මම ඔබ අත එක් පණිවිඩයක් තබා යාමට කැමැත්තෙමි.එය මෙසේය.අපේ " වචන" ඉවරයක් නොවන දාමයකි.ගැ‍ටුම් හා වෛරය පිළිබඳ වැඩි වැඩියෙන් කතා කරන තරමට අපි ගැ‍ටුම් හා වෛරය වැඩි වැඩියෙන් දකින්නෙමු.මිහිමතින් යුද්ධය මුලිනුපුටා දැමීමට නම් අපි පළමු කොටම අපේ ශබ්දකෝශයෙන් "යුද්ධය" ඉවත්කර ගත යුතුය.
අනෙක් අතටඅපි කතා කරන වචන වල හරි තේරුම දැන ගැනීමට අපි ක්‍රියා කළ යුතුය.
"ජිහාඩ්" යන වචනයට ඉංග්‍රිසි භාෂාව මඟින් දුන් තේරුම අරාබි බසින් එහි තේරුමට වඩා සපුරා වෙනස්ය.ජිහාඩ් යනු "ශුද්ධ වූ යුද්ධය" යැයි ඉංග්‍රිසිය කියයි.අරාබි බසට අනුව එය "අයහපත වෙනුවෙන් යහපත්ව පෙනී සිටීමකි.ලොවේ සියල්ලෝ මෙය මනසින් දකිත්වා'යි මම පතමි.
'ආරක්ෂාව" යන වචනය අපේ ශබ්ද කෝෂ වලින් උගුල්ලා දමා ඇති බව මට හැ‍ඟේ.එය නැවත ස්ථාපිත කරන්නේ නම්ලෝකයේ භයානකම ඝාතකයා සදාම් හුසේන් නොවුනු වග ඔබට තේරුම් යනවා ඇත. අදද ලොව බියකරුම ඝාතකයා "හදවත් රෝගයයි".
ආරක්ෂාව ගැන වැඩි දුරටත් සිතන්නේ නම්; "මැලේරියාව" ජන සංහාරකයක් බවද "ඒඩ්ස්" අල්කයිඩාවට වඩා දරුණු බවද ඔබට තේරුම් යනවා ඇත.වර්ෂ 2001 සැප්තැම්බර් 11 වැනිදා අල්කයිඩාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් මිනිසුන් 3000 ක් මිය ගිය අතර එම වර්ෂයේදීම ක්ෂය රෝගයට ගොදුරු වීමෙන් පුද්ගල ජීවිත මිලියන 1.6 ක් මිහිමතින් සමුගත් බව මම ඔබට පවසමි.
ඇමෙරිකා එක්සත් ජනපදය අදද ඩොලර් ට්‍රිලියනයක් සිය හමුදාව සඳහා වාර්ෂිකව වැය කරයි.ජල සම්පාදනය සඳහා වසරකට වැය දරන්නේ ඩොලර් බිලියන හතක් වන අතර තවමත්  ලෝක ජනගහනයෙන් බිලියන 1.6 කට පිරිසිඳු ජලය අහිමිය.
අපි මානව වර්ගයාගේ ආරක්ෂාව පිළිබඳ සුළුවෙන් හෝ තකනවානම්වසංගතයන්ට එරෙහි ආරක්ෂාව,කුසගින්නට එරෙහි ආරක්ෂාවඅනාගත අවස්ථාවන් සුරක්ෂිත කිරීමේ ආරක්ෂාව අපේ ප්‍රමුඛ ඉලක්කයන් වනු ඇති අතර අවි ආයුධ මිළට ගැනීම  පිළිබඳ තවදුරත් සිත් නො යොමනු ඇත.
මේ තත්වය තවදුරටත් පවත්වා ගැනීමට කළ යුතුවන්නේ මහන්සි වී වැඩ කිරීමයි.සාමයේ වචන සොයා ගනිමින් සාමය කතාකරවීමයි.
තවදුරටත්යම් අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා "සටන් වැදීම" අපි ප්‍රතික්ෂේප කරමු.සැබෑ අවශ්‍යතාව වන්නේ ඒ වෙනුවෙන් වැඩ කිරීමය.

පරිවර්තනය : නදීෂා චන්ද්‍රසේන.




23 comments:

  1. හ්ම්ම්.. මේ විදිහට "හිතන්න" යමක් ලියනවට බොහොමත්ම ස්තූතියි නදී.
    වචනයක් කියන්නෙ තියුණු අවියක්, හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ!
    එතකොට භාෂාව කියන්නෙ අවි ගබඩාවක්.. :)

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. "අවි ගබඩාවක්".

      Delete
    2. මෙවැනි වචන නිතර නිතර භාවිත කිරීමෙන් "යුද්ධය" එදිනෙදා ජීවිතය හා බැඳුනු අංගයක් ලෙස පෙනෙනු ඇත.

      :D

      Delete
    3. හිතමිතුරු සහ නදීෂා: සමාවෙන්න මෙහෙම කියනවට. නමුත් හිතමිතුරු ලිපියේ තේරුම හරි හැටි වටහාගෙන නැහැ. ඒ විතරක් නෙමෙයි, මේක පරිවර්තනය කරපු නදීෂාත් තේරුම් අරන් නැහැ වගේ පේන්නෙ.

      භාෂාව කියන්නෙ 'අවි ගබඩාවක්'.. කියන යෙදුමම මේ ලිපියේ අන්තර්ගතයට පටහැනියි. මෙතුමා කියන්නේ යුද්ධයට සම්බන්ධ වචන, අනවශ්‍ය ලෙස සාමාන්‍ය ජීවිතයේ යම් යම් දේ වලට භාවිතා කිරීම නිසා, අපි යුද්ධයක් නැති තැනත්, යුද්ධ පරිසරයක් මවනවා කියලා. යුද්ධය යනු ජීවිතයේ හැම දෙයකටම පොදු අති සාමාන්‍ය දෙයක් බවට පත්කරනවා කියලා.

      එ නිසා අවශ්‍ය වන්නේ වචන 'වචන' ලෙස දැකීම, හෝ අදහස් හුවමාරු කිරීමේ උපාංගයක් ලෙස දැකීම මිසක්, වචන යනු 'අවියක්', හෝ භාෂාව යනු 'අවි ගබඩාවක්' ලෙස දැකීම නොවේ.

      පහරගැසීමක් හෝ මඩගැසීමක් නොවන බව කරුනාවෙන් සලකන්න. :)

      Delete
    4. ඔව් හරියටම හරි.එය මගෙන් වුනු වරදක්.එය පෙන්වා දීම ගැන ඇනෝ ට අනේක වාරයක් තුති.//අවශ්‍ය වන්නේ වචන වචන ලෙස දැකීමයි// එය එසේමයි.එයට සියයට සියයක් එකඟයි ඇනෝ.

      Delete
  2. බොහොම හොඳ ලිපියක්. ගොඩක් ස්තුත්යි පරිවර්තනයට.

    ReplyDelete
  3. A good translation Nadeeka,Lot to learn,,,

    ReplyDelete
  4. කාලෙකින් කියවූ වැදගත්ම සටහනක්.

    ReplyDelete
  5. ලස්සන කතාවක් සහ ලස්සන පරිවර්තනයක්... :)

    ReplyDelete
  6. කාලෙකින් කියෙව්ව වටිනා සටහනක්. හිතට ගන්න කොයිතරම් දේ එතුළ තියෙනවද?

    හමුදාවක් නැති රටක්? හිතාගන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හමුදාවක් නැති වීම රටේ සාමකාමීත්වය විදහා දක්වන්නේ නැහැ.නමුත් කොස්ටාරිකාව විසින් එක්තරා කාලසීමාවක රටේ පැවති සංහිඳියාව මත තීරණය කළා හමුදාව අහෝසි කිරීමට.එවැනි තීරණයක් ගැනීම පහසුයි නමුත් අනාගත අර්බූදයක් පැන නැගීම වලක්වාලමින් කටයුතු කිරීමයි අසීරු.

      Delete
  7. සුපිරි ලිපියක්...!!!!

    ReplyDelete
    Replies
    1. සුපිරි කතාව - ඔස්කාර් අරියෙස් ගේ.

      Delete
  8. කාලීන කරුණු කීපයක් මැනවින් කතා කරලා. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලනඥයන්ටත් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය එමටයි :)

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔස්කාර් අරියස් විසින් මේ කතාව කරන්නේ 2005 අවුරුද්දෙදි.නමුත් ඒ කතාව කවදාවත් පරණ වෙන්නේ නැහැ.

      Delete
  9. This is a very good one...thanks nadeesha for the post.

    ReplyDelete
  10. This is a very good one...thanks nadeesha for the post.

    ReplyDelete
  11. බොහොම හොඳ ලිපියක්

    ReplyDelete