Wednesday, May 23, 2012

කඳු දෙකක කතාව

බොක්සින් ගහගන්නේ දෙන්නයි.තරඟය අවසාන වන්නේ කෙනෙක් ජයග්‍රාහකයා වීමෙන් සහ අනිකා පරාජිතයා වීමෙන්.ඒ ඉසව්ව එකවිට දක්ෂයන් දෙදෙනෙක් හදන්නේ නැහැ.වැරදීමකින් වත් නැහැ.නමුත් 1970 දී දක්ෂයන් දෙදෙනෙකු බිහි වුනා.ඒක ඉතිහාසගත් වැ‍රැද්දක්.නමුත් කිවෙකුට කිසිකළෙක එය නිවැරදි කළ නොහැකි වුනා.1972 සිට 1988 දක්වා බොක්සින් ක්‍රීඩාවේ එකම බරපංති ඉසව්වකට ජයාග්‍රාහකයන් දෙදෙනෙක් උරුම කම් කිව්වා.ඒ මොහොමඩ් අලි සහ තියෝ‍ෆිලෝ ස්ටීවන්සන්.ඔවුන් ඉතා හොඳ මිතුරන් මෙන්ම ගමන් සගයන් වුනා.බොක්සින් වළල්ලට එපිටින් අත් අල්ලාගෙන එකට ගමන් කළ ඔවුන් බොක්සින් වළල්ල ඇතුළත කිසිදා කිසිවිටෙක එකිනෙකා හා තරඟ කළේ නැහැ.ඊට හේතුව ඔවුන්ගේ ජන්මයයි.ඒ ජන්මය විසින් මොහොමඩ් අලි ඇමෙරිකා එක්සත් ජනපදයට ලියාදුන් අතර තියෝ‍ෆිලෝ ස්ටීවන්සන් කියුබාවට ලියා දී තිබුනා.
ඒ ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙක ක්‍රීඩා පිටිය තුළ එදිරිවාදිකම් පිරිමසා ගත් වකවානුවයි.1980 දී මොස්කව් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට ඇමෙරිකාව කටයුතු කළ අතර 1984 දී කියුබාව ඇතුළු සමාජවාදී කඳවුර ලොස් ඇන්ජලීස් උළෙල වර්ජනය කළා.නැවතත් 1988 දී සියොල් ඔලිම්පික් උළෙලේ පස්පාගන්නේ නැතිව සිටින්නට සමාජවාදී රටවල් වග බලා ගත්තා.එනිසා මොහොමඩ් අලී සහ තියෝ‍ෆිලෝ ස්ටීවන්සන් රේල් පීලි දෙකක් වුනා.බොක්සින් වළල්ල තුළ කිසිදා ඔවුන්ගේ එක්වීමක් සිදුවුනේ නැහැ.
කෙසේ නමුත් 1984 දී තියෝ‍ෆිලෝ ස්ටීවන්සන්ට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ආරාධනා දෙකක් කළා.එරට ගෞරවනීය පුරවැසිභාවය පිරිනමමින් ඇමෙරිකාවේ පදිංචිය සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනය ඔහු පළමුවෙන් ප්‍රතික්ෂේප කළා.දෙවනුව ප්‍රතික්ෂේප කළේ කැෂියස් ක්ලේ (මොහොමඩ් අලි) සමඟ තරඟ වැදීමට කළ ආරාධනයයි.තරඟ සහභාගීත්වය සඳහා පමණක් ඩොලර් මිළියනයක් ගෙවන බවට ඇමෙරිකාව ඔහුට දන්වා තිබුණා.
"මිළියන අටක කියුබානුවන්ගේ ආදරය විඳින මට ඇමෙරිකානු ඩොලර් මිළියනයකින් කළ හැකි දෙයක් නැත."
‘The love of 8 million Cubans means more to me than the love of one million dollars’
මේ ඔහු ඊට ලබා දුන් පිළිතුරයි.


3 comments:

  1. ස්ටීවන්සන්ට ඇමරිකාවට යන්න අකමැත්තක් ඇතිවීම වටහා ගත හැකියි. සල්ලි කියන්නේ සමහරුන්ට පමණක් දෙවියන්.

    ඒත් ඇත්තටම උන්දෙන්නා තරඟ කළා කියලා අහවල් නරකක් ද වෙන්නේ? එකම දේ තමා දෙන්නගෙන් එකෙක් පරදින එක. ඒක ක්‍රීඩාවේ හැටි. බොක්සින් වගේ තරමක ප්‍රාථමික ලක්ෂණ සහිත ක්‍රීඩාවක අනිවාර්ය අංගයක්. මට මෙන්න මේ කාරණය වැටහෙන්නේ නැහැ.

    මම හිතන්නේ ස්ටීවන්සන් තරඟ නොකළේ මොහොමඩ් අලි නිසා නොවේ කියා. ඔහු සුපුරුදු මාක්ස්වාදී මොළ සේදුමෙන් ධනවාදයට වෛර කළා. ඒ නිසා ධනවාදයේ දේශය තුල තරඟ කිරීම ප්‍රතික්ෂේප කළා. මොස්කව්, එල් ඒ, සෝල් වර්ජන වල මූලික පදනමත් ඔන්න ඔය අන්ධ භක්තික මතවාද දෙක එකක් අනිකට වෛර කිරීම.

    ඒ ගැන මගේ ලොකු ඇගයීමක් නැහැ. මුදලට වහල් නොවීම ගැන නම මම අගයනවා.

    ReplyDelete
  2. සුජීව හරි.උන් දෙන්නා තරඟ කළා කියා කිසිම නරකක් වෙන්නේ නැහැ.ඒත් හැම තරඟයක්ම ඔවුන්ට ආරාධනා කලේ "මුදල්" ඉදිරියට පාලා.මුදලට තරඟ වදින්නයි සිටීවන්සන් බැහැ කිව්වේ.
    මේ දෙන්නා සතුරු කඳවුරු දෙකක ඉපදුනාට වැඩි කාලයක් එකට ගත කළ බව කියැවෙනවා.අන්න ඒ රොමෑන්ටිසම් එකට මම හරි ආසයි.අන්තර්ජාලය පුරා තියෙනවා මේ දෙපළ එකට හිඳිමින් ගත්තු පිංතූර.
    අනික සුජීව, සල්ලි සහ ක්‍රීඩාව කියන්නේ මොන කාලයක වුනත් "එකට" කතා වුනු දෙයක්.ජෙසී ඔවන්ස් ක්‍රීඩාවෙන් සමු ගත්තට පස්සෙත් දුම්රියක් එක්ක තර‍ඟෙට දිව්වලු.ඒ සල්ලි වලට...ඒ තරම් පිරිහිච්ච ආර්ථිකයක් ඔහුට තිබුනේ.තියෝ‍ෆිලෝ කියන්නේ මහා ධනවතෙක් නෙමී.ඒත් ඔහු මුදල් වලින් ගහ ගැනීම ප්‍රතික්ෂේප කලා.
    //සිටීවන්සන් ගහ ගැනීම ප්‍රතික්ෂේප කළේ මොහොමඩ් අලී නිසා නෙවෙයි//ඔයාගෙ ජජ්මන්ට් එක මැක්සා.

    ReplyDelete
  3. වෘත්තීය බොක්සිං ක්‍රීඩයයෙක් කියන්නේ තමන්ගේ දක්ෂතා වෙනුවෙන් මුදල් අය කරන කෙනෙක්. මුදලට තරඟ කිරීමයි, තරඟ කිරීමට මුදල් ගැනීමයි දෙකක්. ඉතින් මොහොමඩ් අලි එක්ක තරඟ කරලා යම් මුදලක් ලබාගන්න එක වැරදි නැහැ.

    ඒත් මේ යුගයේ බොක්සිං ක්‍රීඩාව සිද්ධවුනු ආකරය බැලුවොත් මේක ක්‍රීඩාවකට වඩා බොහෝ දුර ගිය එකක් බව තේරෙනවා. මොහොමඩ් අලි තමන්ගේ රන් පදක්කම ගඟට විසිකලෙත්, වියට්නාම් යුද්ධයට යෑම ප්‍රතික්ෂේප කලේත්. ඒවා අද අපි වීරත්වයෙන් කතාකරන්නෙත් ක්‍රීඩාවකට වඩා දුරදිග ගිය දේශපාලනයක් බොක්සිං ක්‍රීඩවේ තිබ්බ නිසයි.

    අනික ඒ කාලේ, තරඟයකට පෙර ඒ ක්‍රීඩකයන් කටමැත දෙඩවීමත්, අනිකාට ප්‍රසිද්ධියේ අවමන් කිරීමත් සුලභයි. අනෙකාව බිම දමන්නේ කී වැනි වටයේද කියලා අනාවැකි කියන එක ගැන අලී ප්‍රසිද්ධයි. තමන් අතින් පරාජය ලබන පුද්ගයාටත් අලී අභියෝග කරපු අවස්ථා සහ ඔහුගේ කටමැත දෙඩවීම් මතක් කරමින් ඔහුව උපහාසයට ලක් කල අවස්ථා බොහොමයි.

    අමෙරිකාවේ ජීවත් උනත් අමෙරිකානු දේශපාලනයට එරෙහි වෙච්ච අලී, අමෙරිකන් විරෝධී කියුබානු ජාතික තියෝෆිලො පරාජය කිරීම අලී කියුබාවට එරෙහි වීමක් ලෙස හුවා දැක්වෙන්න බොහෝ ඉඩකඩ තිබුනා. ඒ නිසා දෙන්නා තරඟ කිරීමෙන් වැලකිලා ඉන්න ඇති කියලා මට හිතෙන්නේ.

    ReplyDelete